Tuesday, June 18, 2013

දෙවියන්ගේ හුදකලා දරුවෝ | God’s lonely children

මූලධර්මවාදීන් ලෙස වරදවා හඳුන්වනු ලබන, සම්ප්‍රදායික නොවන ක්‍රිස්තු නිකායකයින් පිළිබඳ ලේඛකයාගේ මතකය ඔහුගේ ළමා කාලය දක්වා දිවෙන්නකි. වයස හතරේදී පහේදී පවා මාස කිහිපයකට සැරයක් නිවසට ආගිය වයසක කාන්තාවක් ගැන ඔහුට මතකය. සමහරවිට ඇය ආවේ තනිවය. සමහරවිට තරුණ අනුගාමිකයන් කිහිප දෙනෙකුද කැටිවය. ඇය ආගම ප්‍රචාරය කිරීමට ඍජු උත්සාහයක් දැරුවේද යන්න ඔහුට අමතකය. අදහන ආගම අසද්දී ප්‍රාථමික අධ්‍යාපනයක් පමණක් ලද එහෙත් ඉතා බුද්ධිමත් කාන්තාවක් වූ ඔහුගේ මිත්තණිය ආඩම්බරයෙන් ‘නෝනා, අපි බෞද්ධ’ කී බව නම් මතකය.

බොහෝ කාලයක් යනතුරු ලේඛකයා සිතුවේ ඇක්සෙන්ටයක් ඇතිව සිංහල දෙඩූ මේ නෝනාගේ අරමුණ පොත් විකිණීම බවය. බයිබල් කතා ඔහු මුලින්ම කියෙව්වේ ඇගෙන් මිළට ගත් පොත් වලිනි. මේවාට නියමිත මිළක් නොතිබිණි. අවස්ථාව අනුව ඇයට රුපියල් දහයක් හෝ විස්සක් (එවකට මේවාට යම් වටිනාකමක් තිබිණි.) දෙනු ලැබිණි. එහෙත් ඇගේ අරමුණ වූයේ නියමිත මිළ අය කරනවාට වඩා කීයක් හෝ ඉල්ලා ගැනීමය. තම ආගම කීයකට හෝ අනෙකෙකුට වික්කායි ඇය ස්වයං තෘප්තියක් ලබන්නට ඇතැයි දැන් කල්පනා වෙයි. වරෙක “Child, don’t you have annnnny pocket money?” කියා ඇසූ විටෙක මා සන්තකව තිබූ රුපියල් තුනක් ඇයට දුන් අවස්ථාවේ එවකට රුපියල් සියයක් පමණ වටිනා පොත් මට දී ගිය අයුරු තාමත් මතකය. මා ඇයට වංචා කළේද යන සංශය බොහෝ කාලයක් යනතුරු මගේ ළමා සිතට වද දුන්නේය.

ඇය ‘යොහෝවාගේ සාක්ෂිකරුවන්’ (Jehovah’s Witnesses) යන කුඩා ක්‍රිස්තු ආගමික නිකායට අයිති බව මා දැනගත්තේ ඉන් බොහෝ කාලයකට පසුව ඇගෙන් එකල ලබාගත් පොතක් දැකීමෙනි.

ජාතික හෙළ උරුමය කියා ඉලව්වක් නොතිබුණු ඒ යුගයේ කාටවත් මේ නාකි නෝනා ප්‍රශ්නයක් වූයේ නැත. කියවීමට ආසාවට කියෙව්වා විනා ඇගේ පොත්පත් වලට කෙනකු ආගමික පරිවර්තනයකට ලක් කිරීමට තරම් ගැම්මක් ලැබිණියි සිතීමට අසීරුය. ඒවා ඉංගිරිසි පොත් වචනයෙන් වචනය සිංහලට පෙරළු රළු පරිවර්තනයන් පමණක් නිසාය. කියවා විඳිය හැකි සාහිත්‍ය රසයක් ඒවායේ නොවීය.

ලේඛකයාට ඊළඟ යොහෝවාගේ සාක්ෂිකාරිය හමු වන්නේ සරසවියේදීය. ශර්මිලා යන ආරූඪ නාමයෙන් මෙතැන් සිට හඳුන්වනු ලබන ඕ අවිස්සාවේල්ලේ උපන් දෙමළ බැචියකි. සිංහල මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනයක් ලබමින් සිටි ඇය සමින් කෙතරම් පැහැපත් වීද යත් සිංහල කාන්තාවක් ලෙස පෙනී සිටීමට අවශ්‍ය වීනම් ඊට කිසි බාධාවක් නොවීය.

එහෙත් ඇය ස්ව කැමැත්තෙන්ම සිංහල හෝ දෙමළ නොවී හුදකලා වූවාය. උතුරෙන් නැඟෙනහිරින් තියා රටේ අනෙකුත් පළාත්වලින් ආ දෙමළ ශිෂ්‍යයින්ටවත් ඇය ‘තමන්ගේ එකියක්’ නොවූවාය. දෙමළට වඩා සිංහල කතා කිරීමට හුරු, ගතින් ඡවි වර්ණ, පොට්ටු නොතියන දෙමළියන් ගැන ඔවුහු දැන නොසිටියෝය.

ඇය සිංහල සිසුන්ගෙන් දුරස්ථ කරන ලද්දේ ආගමය. අපායේ කැලැන්ඩර්වලටම උචිත මූනත්තහඩු ඇති කෙල්ලන්ද සහකරුවන් සොයා ගනිද්දී ඇයට වැස්සේ තෙමෙමින් යද්දීත් කුඩයක් දෙන්නට කෙනකු සිටියේ නැත. සරසවි ලිංගික කාන්තාරයේ පිපුණද මේ ගැට පිච්ච කුසුමට ඇදුනු බඹරකු නොවූයේය.

මා ඇයට සමීප වී යැයි කීම සාපේක්ෂ කියමනකි. ඇය කිසිවකුට තම ඇතුළාන්තය විවර නොකළ හෙයිනි. එහෙත් මා ඇතුළු විවිධ හේතූන් නිසා අප විසින්ම තනි වීමට තීරණය කරන ලද්දන් කිහිප දෙනක් ඇගේ නිවසට ආරධනා ලැබීමට තරම්වත් ඇයට සමීප වීමු. මා ඇය හා ඇගේ පවුල පිළිබඳ වූ අල්ප දැනුම පවා ලබා ගන්නා මෙවන් සීමිත ගමන් කිහිපයකිණි. මේ ඇසුර ආදරයකට පෙරළිණි නම් එය ඉතා සංවේදී නවකතාවක් විය හැකිව තිබිණි. එය එසේ වූයේ නැත. එය තනිකරම ප්ලැටොනික බැඳීමක් විය.

මේ වනවිට මම ලංකාවේ සියළුම ජනකොටස්, සියළුම ආගම්, සියළුම පන්තීන් නියෝජනය කරන පුද්ගලයන් සමඟ එකට ඉගෙනගෙන, එකට වැඩ කොට ඇත්තෙමි. සිංහල වචන තුන හතරකට වඩා නොදන්නා චාවාකච්චේරියේ දෙමළුද, තැම්බුණු ඉස්සන් බඳු බර්ගරයෝද, බාග වැද්දෝද මගේ මිතුරන් අතර සිටිති. එහෙත් මේ කිසිම ජන කොටසකගෙන් නොදක්නා ලැබුනු අන්දමේ සමාජයෙන් හුදකලාවීමක් මා දක්නා ලද්දේ මේ කුඩා අසම්මත ක්‍රිස්තු නිකායිකයන්ගෙනි. එය ඔවුන් ලද ආගමික හික්මවීමේ ලක්ෂණයක් දැයි මම නොදනිමි.

සරසවි දිවිය තුළ එක් අවස්ථාවක අපි රණවිරු සෙවනෙහි කුඩා බාබර් සාප්පුවක් තැනීම සඳහා මුදල් එකතු කළෙමු. (මේ මහින්දතුමාගේ යුද උන්මාද වකවානුවට පෙරය.) හැමදාමත් යුද්ධය අසුචි ගොඩක් සේ පිළිකෙව් කළ මා මේ මඟුලට සම්බන්ධ වූයේ වෙන දෙයක් නිසා නොව මගේ දේශපාලන මතිමතාන්තර නිසා ‘ද්‍රෝහියකු’ ලෙස හංවඩු ගැහීමට ඇති අකැමැත්ත නිසාමය. අනෙක් අතට අත පය අහිමි වී රණවිරු සෙවනෙහි ලගින ‘දේශපාලනමය අහිංසකයන්ට’ උදව් කිරීම යුද්ධයට උදව් කිරීමක් සේ මට සිතුනේ නැත. (රණවිරු සෙවනෙහිදී ආබාධිත සෙබළුන් සමඟ අත්විඳි සංවේදී අත්දැකීම් ගැන පසුව කතා කරමු.)

ශර්මිලා මේ කටයුත්තට ආධාර දීම ප්‍රතික්ෂේප කළාය. එළිපිටම උග්‍ර දෙමළ ජාතිවාදීන් සේ පෙනීසිටි කිහිප දෙනකුන් හැරෙන්නට මේ විරෝධය ආයේ ඇගෙනුත් මගේ තවත් (එවකට ප්‍රබල නව සමසමාජ පාක්ෂිකයකු වූ) සගයකුගෙනුත් පමණි. මේ දෙන්නාම මීට සම්බන්ධ කර ගැනීමට මා නොදැක්වූ උත්සාහයක් නැත. වෙනෙකක් තියා අමාරුවෙන් හෝ ඔවුන්ගේ සම්මාදම මගේ අතින් දීමට පවා ඉදිරිපත්වූයෙමි. (මේ සරසවි ජීවිතයේ කළ හැකි උපරිම කැප කිරීමකි.) එය සාර්ථක නොවීය.

ශර්මිලාගේ විරෝධයට හේතුව වූයේ ඇගේ ජාතිය නොව ආගමය. යොහෝවාගේ සාක්ෂිකරුවෝ කිසිම ආකාරයක යුද්ධයකට උදව් නොදෙති. වෙනෙකක් තියා ජාතික ධජයකට, ජාතික ගීයකට ගෞරව කිරීම පවා ඔවුන්ට ආගමිකව තහනම්ය. (බලන්න http://en.wikipedia.org/wiki/Jehovah’s_Witnesses) ඈය කළ වරද වූයේ මේ ආගමික සම්ප්‍රදායයට අන්ධව අනුකූලතාව දැක්වීමය.

මගේ ඔලමොට්ටල ‘දේශප්‍රේමී’ මිතුරෝ, මා සිතූ ලෙසම මේ සිද්ධිය ඇගේ ජාතියට ඈඳූහ. ඇගේ දෙමළ බව මුලදී ඇතිතැනද පසුව නැතිතැනද සමච්චලයට ලක්විය. මගේ නව සමසමාජ සගයාට එබඳු අබග්ගයක් නොවූයේ ඔහු සිංහල බෞද්ධ පවුලක උපත ලබා තිබූ හෙයිනි. “ඌ නම් පිස්සනේ, ඒවුනාට ඒකිට නම් කොටින් ගැන මොකද්ද කැසිල්ලක් තිබුන” මේ එකම ‘වරදට’ දෙයාකාරයක දඬුවම් ලැබුණු හැටිය.

ම සිද්ධි දාමයෙහි කූඨ ප්‍රාප්තිය වූයේ අනපේක්ෂිත ලෙස සරසවිය වසා අප නේවාසිකාගාර වලින් එළියට ඇද දමන ලද එක් වැහිබර මූසල සන්ධ්‍යාවක ඈ සමඟ ගමන් කිරීම සියළු මිතුරියන් දැඩිලෙස ප්‍රතික්ෂේප කරන ලද අවස්ථාවෙහි මට හෝරා ගණනක ගමනකින් ඇය නිවසට ඇරළීමට සිදුවීමය. මේ සිදුවීමට සමානව සරසවි දිවිය තුළ මා සසල කළ සිදුවීමක් වී නම්, ඒ හදිසි අනතුරකින් පාදයක් අහිමි වූ බැචෙකුගේ පියා ළඟ ඔහුගේ පුතා විභාගය ලියා එනතුරු රෑ දෙකක් තනි රකින්නට සිදු වීම පමණකි.

සරසවි ජීවිතය බිඳීමෙන් පසු ශර්මිලා මගෙන් ඈත්වූවාය. පසු කලෙක ඈය විවාහ වූ බවද විදේශ ගත වූ බවද අසන්නට ලැබිණි. මා මෙය එක්තරා අන්දමකට බලාපොරොත්තු වූ දෙයකි. සිංහල කතා කිරීමට ඇති හැකියාව සමාජ අනුගත වීමට සුදුසුකම සේ සලකන සිරිතක් මේ රටේ සිංහල බෞද්ධ පරිසරයේ තිබුණේ නැත.

මම ඇය Face Book එකේ පමණක් නොව අන්තර්ජාලයේ අස්සක් මුල්ලක් නෑර සෙවීමි. එය අසාර්ථක උත්සාහයක් විය. හුදකලා ගැහැනියක Face Book එකට එන්නේ මොන කෙංගෙඩියටද?

ඈ විදේශ ගත වී ඇත්තේ ජාතික හෙළ උරුමය බිහිවීමට මාස කිහිපයකට කලිනි. එය ඥානාන්විත තීරණයක් සේ මා දකිමි. ඈ යළි කෙදිනක හෝ මෙහි එතැයි මම නොසිතමි. දිගු ඇඟිළිවලින් තම ගෙළ මිරිකීමට බලා ඉන්නා චම්පික රණවකගේ මුහුණ ඇති රකුසකු ඇය දිනපතා සිහිනෙන් දකීද යන්න මම නොදනිමි.......

No comments:

Post a Comment